ලාංකීය මිනිස් ඛේදවාචක, සුසුම් හෙලිම් හා අභියෝගය

 

Image

1971දි සිංහල තරුණ තරුණීයෝ 30,000 කට අධික පිරිසක් ඝාතණය කරන ලදී.  ඒ යටත් විජිත පාලකයන් විසින් බලහත්කාරයෙන් ගොඩනගා සිය වසකට වැඩි කාලයක් පවත්වාගෙන යැමෙන් පසු දේශීය පාලක පංතිය වෙත 1948 දි පිරිනමන ලද ශ්‍රී ලාංකීය ජාතික රාජ්‍ය තුළ තම ජිවිත වලට අත්වි ඇති ඉරණමින් මිදී තමන්ටද අනාගත පරම්පාරවන්ටද  සුභදායි රාජ්‍යයක් ගොඩනැගිමේ අරමුණෙන්, පැවති රජ්‍ය බලය සන්නධ ක්‍රියාකාරිත්වයක් මගින් පහකර තම සිහින රාජ්‍යය වු සමාජවාදි රාජ්‍ය ක්‍රමයක් ස්ථාපිත කිරිමට උත්සාහ කිරීම නිසාය. 1987-1989 කාල වකවානුව තුල නැවත වාතාවක් සිංහල තරුණ තරුණියන් විසින් එවැනිම උත්සාහයක් දැරිමේ වරද රාජ්‍ය විසින් නිවැරදි  කරනු ලැබුවේ තවත් ජිවිත60,000 කට වැඩි ගනණක් බිළිගැනීමෙන් ය.

 පැහැරගෙන ගොස් මරා වළලා දමන ලද මිනිසුන්ගේ ඇට කටු දකුනේ තැනින් තැන තවමත් මතුවෙමින් පවති.

 විසි වන සියවසේ මැද භාගයේ පටන් භාවිතාවට නැගෙන සාමාජ නැගිටීම්, ඝාතණය හා මර්දනය තුළ යටපත් කර දැමිමේ ශ්‍රී ලාංකීය රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය එහි විශාලතම පුරවැසි ජනකාය වන සිංහල සමාජය විසිඑක් වැනි  සියවෙසේ මුල් කාර්තුව තුළ ද  “රතුපස්වල” ජනතාව හරහා අත් විදිමින් සිටී.

ජාතික රාජ්‍යයේ දෙවන විශාලතම ජාතිය වු දෙමළ ජාතියේ ඉරණම මහා ජාතියේ ඉරණමෙනුත් එහා ගියා වු අර්බුදයක් වනුයේ ඔහුන් හට, සිංහල ජාතිය විදින්නා වු පිඩනයන්ගෙන් එහා ගියා වු තම ජාතිකත්වය මතද පිඩාවට ලක් විමයි. 1948  ඇරඹි  ඔවුන්ගේ ඉරණම 2009 වන විට 21 වන සියවසේ සිදුවු මිනිස් සංහාරයක් දක්වා ගමන් කර, තව දුරටත් නොවිසඳුනු මිනිස් ඛේදවාචකයක් හරහා ඉදිරියට ඇදෙමින් පවති . මෙහි ඇති අනික් ඛේදවාචකය වනුයේ දෙමළ ජාතියේ නොවිසඳුණු ඛේදවාචකය දශක ගනණාවක් පුරාවට දිවෙනුයේ රාජ්‍ය මර්ධණයේ කරවටක් එරී සිටින මහ ජාතිය වු සිංහල ජාතියේ ද සහාය ඇතිව විමයි.

1948 සිට අද දක්වා ශ්‍රී ලාංකාව තුළ සාමකාමී කාලයන් යනු, රාජ්‍ය ප්‍රචන්ඩත්වය මගින් එහි පුරවැසියන්ගේ ඉල්ලීම් යටපත් කර පවත්වාගෙන යනු ලබන කාල වකවානු සඳහා මිසක, රාජ්‍යක මුලික කාර්‍යයක් වු, පැන නැගෙන සමාජ අර්බුදයන් විසඳීම සඳහා පවතින සාමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික ව්‍යුහයන්, දීර්ඝකාලීන විසඳුමක් වෙනුවෙන් පරිවර්තණය කිරීමකින් අත් පත් කර ගන්නා සාමකාමි කාලයන් නොවේ.

රටේ මුලිකම හා විසඳීමකින් තොරව විසඳුමක් නැති දෙමළ ජාතියේ දේශපාලන ප්‍රශ්නය ප්‍රකාශයට පත්වන මාධ්‍ය 2009 මැයි 18 වන දිනෙන් පසු නැවත වරක් තුවක්කුවේ යකඩ කටින් මිනිස් මස් කටට මාරු වී ඇත.

1948 යටත් විජිත කරණයෙන් නිදහස ලබූ දා පටන් විසඳුමක් වශයෙන් දෙමළ ජාතික දේශපාලනය වෙතින් පැමිනි ෆෙඩරල් රාජ්‍ය මොඩලයද, 50-50 යෝජනා ප්‍රතික්ෂේප විමද,  1956 සිට විටින් විට ඔහුන් වෙත මුදා හල ප්‍රචන්ඩත්වයට එරෙහිවද සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් හා දෙමළ සිසුන්හට විශ්ව විද්‍යාල තුළට ඇතුලු විමට ඇති හැකියාව අවම  කරමින් 1970 දී ඇති කළ ප්‍රමිතිකරණ ප්‍රතිපත්තියද.1972 ව්‍යවස්ථාව මගින් සුළු ජාතින් හට  එතෙක් පැවති ව්‍යවස්ථාවෙන් ලැබී තිබු එකම ආවණයද ඉවත් කිරිමෙන් පසු. 1976 වඩුක්කොඩෙයි යෝජනාව හරහා දෙමළ ජාතියට ඇති එකම විසඳුම වෙනම රාජ්‍යක් යන නිගමනයට දෙමළ ජාතික දේශපාලකයන් පැමිණියේය. ඔහුන්ගේ යොජනාව ජන්තාව අතරට ගෙන යනු ලැබිමට යොදා ගනු ලැබු වෙද පැවති  ඡන්ද ක්‍රමයයි.

1977 මැතිවරණයේදි 82% දෙමළ ඡන්ද දායකයන් ප්‍රමාණයකින් මෙම යෝජනාව අනුමත වු අතර, 1978 නව  ව්‍යවස්ථාවෙන් දෙමළ ජාතියට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තම මතයක් දැරිමේ අයිතිය පමණක් නොව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමද අහුරා දමන ලදි.

 70 දශකයේ අවසන් භාගයේ පටන් මස් කටින් තමන් කළ අරගලයට යකඩ කටින් හා ප්‍රචන්ඩත්වයෙන් පමණක් පිළිතුරු ලැබු දෙමළ තරුණ පරම්පරාව, තම ඉල්ලීම් දිනා ගැණිමේ මාධ්‍ය ද මස් කටින් යකඩ කටට මාරු කරන ලදී. මිනිස් ජිවිත ලක්ෂ ගනණක් බිලිගත් එහි අවසානය 2009 මැයි 18 වන දින සටහන් වින. යුද්ධය හා එහි ගමන් මග පිළිබඳව කුමන මති මතාන්තර පැවතියද මැයි 19 වන දින සිට එළඹිය යුතුව තිබුනේ දේශපාලනිකව වෙනත් දිනයකි. දෙමළ ජාතියෙ ප්‍රශ්නයට විසදුමක් සෙවිමේ එකම බාධකය වශයෙන් 80 දශකයෙන් පසු රට කර වු සියලුම ආණ්ඩු විසින් ආඩපාලි කියමින් සිටි LTTE ය සහමුලින්ම විනාස කිරිමෙන් පසු ඔවුන්ට ගෙන ඒමට නොහැකිව පැවති දේශපාලන විසඳුමක් ගේනෙනවා වෙනුවට රටේ දේශපාලනය නැවත ගමන් ඇරඹුවේ 1948 දෙසටය.

 2010 මහා මැතිවරණයේදි ෆෙඩරල් විසඳුම තම ජාතියේ අර්බුදයට විසදුමක් ලෙස පිළිගන්නා දෙමල ජාතික සන්ධානය පැවති මැතිවරණයෙන් ජයගත් අතර දකුනේ නියොජිතයන් ලෙස පැමිණි කිසිඳු දේශපාලන කණ්ඩායමකට සැලකිමකට භාජනය කල යුතු ප්‍රමානයක ජන බලයක් නොලැබුනේය.

මෙම වසරේ සැප්තැම්බර් මස ප්‍රථම වරට  පවත්වන ලද උතුරු පළාත් සභා ඡන්දය යනු ජාතික දේශපාලනයේ වැදගත් සංධිස්ථානයකි. පළාත් සභා යනු දෙමළ ජාතියේ දේශපාලන ප්‍රශ්ණයට විසඳුමක් ලෙස සිංහල සාමාජයේ දැඩි විරෝධය මත ඉන්දීය රජයේ බලහත්කාරය මත පිහිටවනු ලැබු දේශපාලන හා පරිපාලන ව්‍යුහයකි. තම ප්‍රශ්නයට විසඳුමක් ලෙස තමන්ගේ විමසීමකින් තොරව පිහිටවන ලද උත්තරය පිළිබඳව  උතුරේ දෙමළ  ජනතාවට තම අදහස ප්‍රකාශ කිරිමට ලැබුනු ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම තිරණාත්මක ඡන්දයේදි ලැබුනු ප්‍රතිඵලය පිළිබඳව කිසිවකු විශ්මයට පත් නොවුනද, මැතිවරණය අරබයා සිංහල දේශපාලන සමාජ ක්‍රියා කල ආකාරය හා මැතිවරණයෙන් පසුව ගෙවී යන මේ මොහොතේදි ක්‍රියා කරමින් සිටින ආකාරය දෙස විපරමෙන් බලන කළ පෙනි යනුයේ ඉතිහාසයේ එකම සිදුවිම නොව මහා ඛේදවාචකයක් එකම ආකාරෙයෙන් දෙවන වරද සිදු විමට යන බවයි.

ලාංකික ජාතික රාජ්‍ය හා එහි වෙසෙන සංඛ්‍යාතමක කුඩා ජාතීන් අතර පැවතිය යුතු සම්බන්දය පිළිබඳව සිංහල සමාජයේ ඇති මතවාදය මුල් වකවානුවේදී මුලික වශයෙන් බලය බෙදිමට පක්ෂ හා විපක්ෂ යනුවෙන් පිල් දෙකක්ට බෙදිය හැකි වුවද 80 දශකයෙන් පසු වෙනම රාජ්‍යක් වෙනුවෙන් පෙනි සිටින සුලු පිරිසක් ද දකුනේ සිංහල සමාජෙයෙන් බිහි විය. මෙහිදී බලය බෙදීමට විපක්ෂ කණ්ඩායමේ ක්‍රියා කාලාපය පිලිබදව සාකච්ඡා කිරිම අලුත් අදහසක් නොවන බැවින් බලය බෙදිමට පක්ෂ කණ්ඩායම් හී ක්‍රියා කාලාපය පිලිබදව පමණක් අවධානය යොමු කිරිමට කැමැත්තේමු.

 දකුනේ සිංහල සමාජයේ වමාංශිකයන් හා  ලිබරල් වාදීන් යනුවෙන් තමන්ව හදුන්වා දෙමින් සිටිනවුන් බලය බෙදිමට පක්ෂය. නමුත් මොවුන්ගෙන් වෙනම රාජ්‍යක් වෙනුවෙන් සෘජුවම පෙනි සිටින හා දේමළ ජාතියේ සවයං තිරණ අයිතිය පිලිගනු ලබන සුළුතරයක් හැර, අන් සියලු දෙනාම යුද්ධයේදී  LTTE හි ප්‍රචන්ඩත්වයට විරුද්ධ යැයි කියන සටන් පාඨයට මුවා වී මර්ධණකාරි රාජ්‍යට සෘජුව හෝ වක්‍රව සහාය පල කළෝ ය. මොවුන්ගේ මුලික තර්කය වුයේ  “මේLTTE නැත්නම් අපි දන්නවා දෙමළ ජනතාවට දේශපාලන අයිතීන් ලබා දෙන හැටි” යන්නයි. නමුත් මොවුන්ගේ සැබැ නිරුවත නැවත වරක් පෙනෙනු ලැබුවේ මෙවර පළාත් සභා ඡන්දයට පෙරාතුව දෙමළ ජාතික සන්ධානය තම ප්‍රතිපත්ති ප්‍රකාශය එලි දැක්වු මොහොතේ පටන්ය.මෙහිදී විශේෂයෙන්,කෘරතර  යුද්ධයේ දී රජයේ නි‍ය්‍යාචාර වරුන් වී සිට නව තත්වය යටතේ සමාජ ප්‍රජාත්න්ත්‍රවාධයේ මුර දෙවතවුන් විමට වලි කන. ලිබරල්වාදී යැයි කියාගන්නා දේශපාලන ප්‍රවනතාවයේ ප්‍රකාශකයන් වන, සිවිල් වැසියන්ට එරෙහිව සිදුවු අපරාද වලින් පාලක රෙජිමය හා මර්දනකාරි රජ්‍යයේ යුධ නායකයන්ව ගලවා ගැනිමේ මෙහෙයුමේ නිරතව සිට, හිසේ සිට දෙපතුළ දක්වාම දෙමළ රුධිරයෙන් පෙඟී ඇති දායාන් ජයතිලකද, තිසරණී ගුණසේකරද, D.B.S ජෙයරාජ් ඇතුලු බොහෝ දෙනෙකුගේ මතවාදි මෙහෙයුම හා අන්ත සිංහල ජාතිවාදි මතවාදය ද, ත්‍රස්ථවාදය පිළිබඳව මහාචාර්යවරයකු හා පාලක රෙජිමයේ සුරතල් උපදේශකයකු ද වන රොහාන් ගුණරත්න අතර වෙනස ලකුණු වන්නේ දිය මත ඇඳි ඉරකින් මෙනි. මොවුන් සියලු දෙනාට අනුව දෙමළ ජාතික සංධානය හරහා නැවත කරළියට පැමින ඇත්තේ LTTE හි ව්‍යාපෘතියයි.

දශක හයකට වඩා සුලු ජාතින් පෙළූ හා වසර තිහකට වඩා කෘරතර යුද්ධයකට මැදිවි සිටි රටක ලිබරල්වාදී යැයි කියාගන්නා දවල් මිගෙල් රෑ දනියල් මහත්වරුන්ගේ කෙරුවාව මෙසේය. වෙනම රාජ්‍යක් වෙනුවෙන් පෙනි සිටි සුළුතරයේ අති බහුතරය නැවත වෙනම රාජ්‍යක් වෙනුවෙන් සටන් කරනා ව්‍යාපාරයක් දෙමළ සමාජයෙන් පැන නැගේවා යන සිහිනයේ සුව විදිමින් නින්දකට වැටි ඇතිසේ ය.

දෙමළ ඩයස්පොරවේ තත්වයද මීට දෙවැනි නැති සැටි ඔහුන්ගේ ක්‍රියා කලාපයන් තුළින් මොනවට පැහැදිළි වේ. මෙහිදි ටැමිල් නෙට් කන්ඩායම ගැන පමනක් සදහන් කලොහොත්, ඔවුන්ට අනුව විග්නේශ්වරන් යනු අධිරාජ්‍ය වාදයේ හොරනෑවකි. සිංහල ජාතිවාදීන්ට කදිමට ගැලපෙන් නාමකරණයක් හැර මෙය වෙනින් කුමක්ද.

80 දශකයේ පටන් දෙමල ජාතික ප්‍රශ්ණය තම කලාපීය බල දේශපාලනයේ උවමනාවට යටත්කර තබා ගැනිමේ මෙහෙයුමේ නියතව සිට,  LTTE පරාජය කිරිමේ යුද්ධයට විශාල සහයක් ලබා දුන් ඉන්දියාව නැවතත් ප්‍රශ්නයේ ප්‍රධාන කරකවන්නෙක් බවට පත් විම ඉතිහාසයේ ඛේදවාචකයක් ද නැත්හොත් සරදමක්ද ? දෙමළ ජාතික සංධානයට අනුව,1987 දී අත්සන් තබන ලද ඉන්දු- ලංකා ගිවිසුමෙ තීන්ත වෙලිමටත් කලින් එහි ඇති බලතල කප්පාදු කළ පළාත් සභාවක පාලනයක්වත් ඉන්දියාවේ මැදිහත් විම නොවුනානම් නොලැබෙන බවයි. ඔවුන්ට අනුව කප්පාදු කළ බලතල හා එයින් එහාට යන්නා වු බලතලද ඉන්දියාවේ සහයෝගයෙන් ලබා ගන්නා බවයි.

ජාතිකව හා කලාපීයව සිදුවන විශාල දේශපාලන ක්‍රියාවලියක් කුඩාම සම්පිණ්ඩනයකට හකුලුවා දැක්වුවහොත් ඉහත ආකාරයේය.

කළ යුත්තේ කුමක්ද?

ප්‍රශ්නය අති සරලය, මක්නිසාදයත් ජාතින්ගේ ප්‍රශ්නය විසඳන ආකාරය පිළිබඳව න්‍යායන් ටොන් ගනණින් අප ලඟ ඇති බැවිනි.

ඇසිය යුතු ප්‍රශ්නය වනුයේ කළයුත්ත කරණුයේ කවුරුන් විසින් ද කියාය.

අප අපගෙන්ම වහා වහා ඇසිය යුතු ප්‍රශ්නය වනුයේ, තවත් ඛේදවාචකයකට ඉඩ හැර, යුධ අපරාධ පිළිබඳව ගොරනාඩු පවත්වමින්ද, මේ මොහොත්දිත් අපට වැරදුනා යැයි කියමින් නැවත නිවැරදි විමට අවස්ථාවක් ඉල්ලා සිටිමෙන්  සැහිමට පත්වෙනවාද යන්නය.

ප්‍රමාදය පසු තැවිල්ලට නොවේ විනාසයට හේතු වේ.

 ටෙරල් අබේසිංහ

උපුටා ගැනීම-http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=19589:2013-11-25-12-26-04&catid=69:2009-08-07-09-41-10&Itemid=130

 

 

Leave a comment