දෘෂ්ටිවාදී ට්‍රයියෑංගලයේ සර්වාංග පරීක්ෂාව

Image

පළමු ලිපියට මෙමඟින් පිවිසිය හැකිය

මුල් ලිපිය අවසන් කළ තැනින් ඉදිරියට ගමන් කිරීමේ දී චූල මතවාදී ට්‍රයියෑංගලයේ තුන්වැනි දෘෂ්ටිවාදය වන්නේ දීප්ති කුමාර ගුණරත්න යන රූපකාරක සාමාජ ක්‍රියාකාරිත්වයය. මේ පිළිබඳව පැහැදිලි කිරීමට ප්‍රථම මා විසින් මීට පෙර ලියන ලද ලිපියක දීප්ති පිළිබඳ සඳහන් කොටසක් සහ “කැරැල්ල“ නමින් ඇති ෆේස්බුක් පිටුවෙහි විමල් කැප්පෙටිආරච්චි විසින් කරන ලද සංවාදයක හැඳින්වීමේ උපුටනයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

ලෙඩෙකු කරතියාගෙන අතීතයට දුවන වෛද්‍යවරයෙකු වශයෙන් මහාචාර්ය නලින් ද සිල්වාත්, එම ලෙඩාම කීතු කීතු කරමින් ව්‍යච්ඡේදනය කරන වෛද්‍යවරයෙකු වශයෙන් දීප්ති කුමාර ගුණරත්නත් යන දාර්ශනිකයින් දෙදෙනාට රූපකාර්ථ නිර්චනයක් දෙමින් මගේ ඉහත ප්‍රවාදයට පිවිසෙන්නෙමි. මෙම දෙදෙනා ප්‍රවාහයන් දෙකක් ලෙස ගතහොත් අතීතය හා අනාගතය ලෙසත් ඉල්ලම් සහිත පෙදෙස් සොයා මැණික් සොයන්නන්ය. ආදරය හා වෛරය අතර සැරිසරන්නන්ය. බුද්ධිය හා තර්කය අතර සංවාද ගතවන්නන්ය. ශිෂ්ටත්වය හා ම්ලේච්ඡත්වය සොයන්න්නය. විකල්පයකට පාර කපන්නන්ය. නූතන ලාංකීය සිංහල දේශපාලන විඥ්ඥාණය මේ වටා භ්‍රමණය කරවන්නන්ය. අරමුණ වෙනුවෙන් ජීවත් වෙමින් පරමාදර්ශයට ආලෝකය සපයන්නන්ය.“ (මගේ)

“දීප්ති කුමාර ගුණරත්න යනු ශ්‍රී ලංකාවේ ලංකා පෙරටුගාමී පක්ෂයේ නායකයාය. ලංකාවේ දේශපාලන වියමන, වෙනස් සහ වෙනත් මානයකට රැගෙන ගිය මිනිසකු ලෙස අපි ඔහුව හඳුනා ගන්නෙමු. ඔහු පළ කරන අදහස් තරම් දාර්ශනික ගිනිදළු ඇවිළූ අදහස් පළ කළ වෙනත් දේශපාලන නායකයකු මෑත කාලීන ලංකාවේ සිටී ද යන්න පවා ප්‍රශ්නාර්ථයකි.“ (කැප්පෙටිආරච්චි)

ඉහත හැඳින්වීම්වලට අනුව වුවද    ඔහු නියෝජනය කරන  දෘෂ්ටිවාදය පිළිබඳව ආනුභාවික (empirical) හා ප්‍රමාණාත්මක(Quantitative) නිර්චනයක් දීමට තරම් භාෂාව සොයා ගත නොහැකි වුවත්, එහි ඇති ගුණාත්මක (Qualitative) බලපෑම සමාජ සංස්කෘතියට විශාල වශයෙන් ප්‍රතිථලගෙන දී ඇත. පශ්චාත් නුතනවාදී දෘෂ්ටිය කියා හැඳින්වුවද, විසංයෝජනවාදී දෘෂ්ටිය කියා හැඳින්වුවද, ව්‍යුහවාදී දෘෂ්ටිය කියා හැඳින් වුවද එවායින් අවසාන ප්‍රතිඵලයක් සොයා ගත නොහැකිය. එක්ස් කණ්ඩායම වශයෙන් ක්‍රියාත්මක වෙමින් පසුගිය කාලය පුරා ලාංකික සිවිල් සමාජයට කරන ලද බල පෑම සුළුවෙන් සත්සේරු කළ නොහැකි වන්නේ එක්ස් කණ්ඩායම විසින් සමාජ ගත කළ දැනුම බල සම්පන්න නිසාය. එය හරියට කෆීර් යානාවක් බඳුය. අකුණු විදුලිය සහිත වැස්සක් බඳුය. අනූව දශකයේ දී ඇති වූ මෙම සමාජ ව්‍යාපාරයේ දැනුම  හා බලය කිසියම් අණසකක් පතුරුවන්නට විය. එය නගර කේන්ද්‍රීය සිවිල් සමාජය යම් කිසි දෙදරුමක් ඇති කළ අතර එහි සාධනීය හා නිශේධනීය යන දෙඅංශයම අඩංගුව පැවැති බව මගේ විශ්වසයයි. මෙම නව දැනුම් ප්‍රවාහය විසින් විශ්ව විද්‍යල දැනුම නැමැති චීන මහා ප්‍රාකාරය ධනවාදය නැමැති කාලතුවක්කුවෙන් බිඳ දමන්නාක් (මාක්ස් එංගල්ස් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයේ සඳහන් කරන්නාක් මෙන්) මෙන් විශ්ව විද්‍යාල දැනුමට අභියෝගයක් විය. ඇකඩමික දැනුමේ ඇති අතාර්කික බව එක්ස් විසින් ගෙනන ලද ප්‍රවාද තුල තදින් ප්‍රකට වූ අතරට සිවිල් සමාජ දේහය හරහා විදුලියක් කොටන්නාක් මෙන් මෙහි බලපෑම, ජනමාධ්‍ය, සාහිත්‍ය සිනමාව ඇතුලු බොහෝ ක්ෂේත්‍රයන් තුලට නව මානයක් හා චිචාරයක් එක් කරනු ලැබුවේ අලුත් භාෂාවක් හා එම භාෂාවට පාරිභාෂික ශබ්ධමාලාවන් ද නිර්මාණය කරමිනි.

එක් අතකින් සමාජය අවදි කරද්දී, තවත් අතකින් සමාජ ක්‍රියාකාරීන් නිහඬ කරවීම ද සිදුවිය. සාම්ප්‍රදියික දැනුමෙහි මළකඩ කඩමින් ඇති වූ තර්කනවේදය නව පරපුරට විලාසිතාවක් බවට ද පත් කිරීමට දායක විය. එම සමාජ බලවේගයෙහි පුරෝගාමියෙකු ලෙස දීප්ති ප්‍රධාන වන අතර එක්ස් කණ්ඩායමේ ඇතිවන කණ්ඩනය හේතුවෙන් දීප්ති ප්‍රමුකව ගොඩ නැගෙන දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පෙරටුගාමි පක්ෂය ක්‍රමික අනන්‍යතාවකට හැඩ ගැසීම සිදු වුවත් එහි අනන්‍යතාවයේ හැඩය තේරුම් ගැනීමට කාලය අවැසිය. අනෙක් අතට එම පක්ෂය ද මාක්ස් ලෙනින්වාදී ආකෘතික දේශපාලන දර්ශනයක පිළිබිඹුව පෙන්වද්දී, ලාංකීය වමේ මෙතෙක් පැවැති ස්වභාවය යම් වෙනසකට ලක්කරන්නක් ද වනු ඇත. එනම් සාම්ප්‍රධායික මාක්ස් ලෙනින්වාදී දැනුමෙන් එහාට ගමන් කරන්නකි.

සර්වාංග පරීක්ෂණය (overall checkup)

මේ අනුව මෙම දෘෂ්ටිවාදී ට්‍රයියෑංගලය සර්වාංග පරීක්ෂණයකට ලක් කිරීමේදී, සමස්ථයෙහි අභිප්‍රාය වන්නේ සාධනීය විශ්ලේෂණයකට(constructive analysis) යොමු වීම වන අතර පළමු ලිපියෙහි මුලින් සඳහන් කළ යෙදුම් දෙකක අපේක්ෂිත අර්ථය නැවත විග්‍රහකර ගැනීම වැදගත් යැයි සිතමි. එනම් “චූල“ සහ “පර්ෂද“ යන වචන දෙකය.  චූල යනුවෙන් සඳහන් කිරීමේ දී ඉන් වක්‍රව කියැවෙන්නේ මහා එක්ක් හෝ ඊට වැඩි ගණනක් ද, කුඩා දෘෂ්ටිවාද තවත් බෙහොමයක් තිබිය හැකි බවය. පුද්ගල නාමයන් සහිතව මෙම සාකච්ඡාව මතු කරද්දී “අනෙකුන්“ (others) නිර්මාණය වීම නොවැලැක්විය හැකි වුවද, එම අනෙකා ද චූල ඝණයටම අයත් වන්නකි. ප්‍රස්තුතයට අදාල සන්දර්භයන් සාක්ච්ඡා කිරීමේ දී, සෙසු අයව හෝ පුද්ගලයන් නිෂේධ වීම හෝ අවැදගත් වීමක් සිදුවීම මෙහි සමස්ථයෙන් අපේක්ෂා නොවේ.

පර්ෂද යන වචනය සිංහල භාෂාවෙන් හැඟවුම්කරන දෙයට අදාල අර්ථය ලැබේද යන සැකය නිසා මේ පීළිබඳව පැහැදිලි කිරීමට cluster යන වචනයම තවත් විග්‍රහ කරන්නේ නම්, මෙම යෙදුම පර්යේෂණ තුල භාවිත කිරීමත් විශේෂයෙන් සිනාරියෝ ගොඩනැංවීම්වලදී යොදාගැනීම සිදුවේ. ඒ අනුව කිසියම් අදාල මාතෘකාවක් විග්‍රහයට ගැනීමේ දී හෝ ගොඩනැංවීමේදී හෝ ඊට අදාල බොහෝ උප කාරණා තිබිය හැකිය. එහෙත් ඒ සියල්ල විග්‍රහය සඳහා යොදා ගත නොහැකිය.එහෙත් රැස්කරගන්නා ලද සෙසු වැදගත් දේ ද අවශ්‍ය විටෙක ප්‍රයෝජනයට ගැනීමට ඉඩ තබා ගනිමින් අදාල සිනාරියෝව සඳහා අවශ්‍ය ලෙස තෝරා ගැනීම ක්ලස්ටර් (Cluster) කිරීම නම් වේ.මේ අනුව ලංකා දේශපාලනයේ මතවාදී ට්‍රයියෑංගලය යනුවෙන් සඳහන් කිරීමේ දී ඉන් ගම්‍ය වන්නේ, මෙය පමණක්ම බව යන්න පිළිබඳ ඇති වැරදි වැටහීම නිවැරදි කිරීමට මෙම කෙටි සඳහන උපකාරක වනු ඇතැයි සිතේ.

එසේම මෙහි තවත් ඉදිරියට යෑමට ප්‍රථම, පළමු ලිපියේ දී ලලිත් කුගන් පිළිබඳ කරන ලද සඳහන තුලින් වැරදි අර්ථ සංඥාවක් නිකුත් වෙමින් “එම පැහැර ගැනීම් කිරීම සාධාරණීයකරණය කිරීමක් වැනි හැඟීමක් පැමිණි පාඨකයෙකු වේ නම්, මුලින්ම භාෂව හැසිරවීමේ දුබලත්වය වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමි. මන්ද ලලිත් කුගන් සහෝදරවරු වෙනුවෙන් අප ද හැකි පමණින් මැදිහත් වීම් කර ඇති බව ද දන්වමිනි. එහෙත් ලලිත් කුගන් සිදුවීම සම්බන්ධයෙන් මතු කිරීමට අවශ්‍ය වූයේ සදාචාරමය ප්‍රශ්නයකි. එය ශේක්ෂ්පියර්ගේ හැම්ලට් නාට්‍යෙය් එක් ජවනිකාවක් වන පියාගේ මරණයත් සමග අම්මාගේ අනෙක් විවාහය සිදුවනු දකින හැම්ලට් මෙනෙහි වීමෙනි. (සමහර විට මෙම සංජානනය ද නොගැලපෙනු ඇත.) එය වුවද ලිපියෙහි අරමුණට හානියක් වෙමින්  යමෙකුට සිත් තැවුලක් වේ නම් ඊටද සමාව ඇයැදිමි.

 දැන් ඇත්තේ ඉහත ලිපියෙහි සඳහන් කරන ලද රූපකීය දෘෂ්ටිවාදයන් යලි පරීක්ෂාවට ලක් කිරීමය. ඒ අනුව අනාගතය පිළිබඳ විය යුතු සිනාරියෝවක් ගොඩනගන්නේ නම් යන අර්ථයෙන් මෙම සටහනට ඇතුලු වුවහොත් මෙහි සඳහන් චූල දෘෂ්ටිවාද තුනෙහි එක් රූපකීය ප්‍රවාහය වන විමල් වීරවංශ ගූන්‍ය වී යනු ඇත්තේ ඔහු වෙනත් කලාපයක ස්ථානගත වන බැවිනි.එය පළමු ලිපියෙහි සඳහන් කර ඇත. එහෙත් මෙම විග්‍රහයට ඔහුව බද්ධ වීමේ වැදගත්කම වන්නේ ජවිපය හා ජවිපය නැවත මතවාදීව කණ්ඩණය වී බිහිවන පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිසාය. දෘෂ්ටිවාදයක් නැති ක්‍රියාකාරිත්වයක් ඇති යනුවෙන් හැඳින්වූ ජවිපයට විමල්ගේ දිශාවට නැතිනම් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවකට ගමන් කිරීමේ අවකාශය කාලය අනුව සිදුවිය හැකි බැවින් දේශපාලනික චලනයකදී එයට වෙනස් විය හැකි ශඛ්‍යතාවක් ඇත. ඔවුන්ගේ එම හැරවුම අනාගත සිනාරියෝවක් නිර්මාණය කිරීමේ දී වැදගත් වන්නේ ජාතික වශයෙන් ලංකා දේශපාලනයට හෙලන දෘෂ්ටිය අනුවය. අනෙක් අතට වැදගත් වන්නේ ජවිපේ කණ්ඩනයේ සෙසු පාර්ශවය වන පෙසපේ මතවාදීමය ලෙස ජවිපය අතික්‍රමණය කරමින් ඉදිරියට පැමිණ ජවිපෙන් වෙන්වීමේ දෘෂ්ටිවාදයේ වෙනස සලකුණු කිරීම පිනිස අරගලයක යෙදී සිටීම දේශපාලනික අර්ථයෙන් ඇති සුවිශේෂීකම නිසාය.

 Image

මේ අනුව ජවිපය ත්‍රිකෝණ ගත කළහොත් වැදගත් කෝණ දෙක වන්නේ ජවිපය හා පෙසපය. එයින් ද ජනප්‍රිය ජාතික දේශපාලනය තුල ඇති වන චලනයන්ට අනුව ජවිපේ හැරවුම කුමන දිශාවකට තල්ලු වේද යන්න පැහැදිලි නැතත්, පෙසපය ඉන් එහාට ගමන් කරමින් සොයා යන දේශපාලනයක නිරත වීමේ ගුණය ප්‍රකට කරන බැවින් චූල දෘෂ්ටිවාදයන් අතරට නැවත කලස්ටර් කිරීමේ දී පෙසපය පැමිණෙනු ඇත. එවිට ට්‍රයියෑංගලය වන්නේ පෙසපය + ( කුමාර[i]) හිරු + (භාෂණ) සහ එක්ස් + පෙරටුගාමී පක්ෂය + (දීප්ති). එබැවින් මෙම දෘෂ්ටිවාදී දහරාවන් තුන තුල ඇති ප්‍රතිවිරෝධයන් සමනය කර ගැනීමෙන් කිසියම් ප්‍රමාණයකට හෝ නිර්මාණශීලි විය හැකි වන්නේ නම් ( ට්‍රාන්සෙන්ඩ්(Transcend) වීමට හැකි වේ නම්), ලංකාව පිළිබඳ සොඳුරු සිහිනයකට අඹ ඇටයක් සිටු විය හැකිය.එය අද හෙට නොව මතු දිනක මතු පරපුරක ආදර්ශීය උරුමය වනු ඇත. එය යුරෝපීය ප්‍රාජාතන්ත්‍රවාදයේ ඇරඹුම සළකුණු ගත කළ ඉතිහාසය මෙන් ලාංකීය ඉතිහාසය තුලද සෙල්ලිපියකින් සටහන් තැබෙනු ඇත. ඒ සඳහා ද්විත්ව කාර්යයක් ඇත.

Image

ඉන් පළමු වැන්න එක් එක් දහරාවන්ගේ අභ්‍යන්තරික ගැටුම්වල මතුපිට ඇති හැසිරීම(Behavior) නැමැති අයිස්බර්ගය තුරන් කර දැමීම පිණිස ආකල්ප(attitudes),ප්‍රතිවිරෝධයන්(contradictions) ගේ මූල බීජයන්(root causes) වී ඇති මතවාදී හා පුද්ගලික යන ද්විත්ව හේතුන් කරා ගමන් කරමින් සාධනීය සමාලෝචයකට පැමීණීමට අවශ්‍ය සංහිඳියාව(reconciliation) ගොඩ නගා ගැනීමෙනි.එම සංහිඳියාව උතුරු දකුණු සංහිඳයාවේ ද පහන් එලියක් වනු නොවනු මානය. මෙම වගකීම වනාහී එක් අයෙකුට පමණක් නොව සියල්ලන්ගේම වැඩකි. එක් පරම්පරාවක තවමත් ජීවත්වන කෙලවාගත්තවුන්ගේ වැඩකි. කෙලවා නොගැනීම පිණිස දැමිය යුතු අත්තිවාරමකි, කළ යුතු සංගායනාවකි. තම තමන් නිවැරදි නම් සමස්ථය වැරදි වන්නට හේතුව කුමක් ද යන්න නැවත කල්පනා කිරීමට කාලය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අප සතුව ඇත. එබැවින් මෙම දේශපාලනික සංහිඳියාව සඳහා ගමන් කිරීමට ඇති ප්‍රෙවේශයන් බොහොමයක් වන අතර එහිදී වැදගත් වන්නේ අනන්‍යතාවන් (identities) සහ අනන්‍යෝන්‍ය හඳුනාගැනීම ය( mutual recognition).

මේ පිළිබඳව තවදුරටත් ඉඩ තැබීම ඊ ළඟ කොටසට තබමින් ළමා කතාවක් වන ඩිස්නි ප්‍රින්සස් (Disney Princess)හි “ ඔවුන්ගේ ලෝකයේ කොටස“ (part of their world)නම් කොටසෙහි කිඳුරියක පිළිබඳ කතාන්දරයේදී එන සඳහනක් මතක් කිරීමට කැමැත්තෙමි.

“Daddy said humans were cruel. But I know that any creature who could make things as beautiful as these treasures couldn’t be all bad” (Grace Windsor) (තාත්තා කිව්වේ මනුෂ්‍යයින් කියන්නේ නපුරු ජාතියක් බවය. එහෙත් මම දන්නවා මේ වගේ ලස්සන දේවල් නිර්මාණය කරන්නට හැකි කිසිම කෙනෙකු නපුරු විය නොහැකි බව)

ලස්සන දේවල්, අපූරු දේ නිර්මාණය කරන මිනිස්සු නපුරු විය නොහැකිය. ඔවුනට එකට එක් විය හැකි වනු ඇත. එය එතරම්ම අසීරු වන්නේ ද එක් වීමේ ඇති වැදගත්කම නිසාය. අපට සිහින මැවිය හැකිය. ජෝන් ලෙනන් කියන්නාක් පරිදි, ඔබට කිව හැකිය, මම සිහින දකින්නෙකු ලෙස. එහෙත් යම් දිනක ඔබද අප හා එකතු වනු ඇත.

You, you may say
I’m a dreamer, but I’m not the only one
I hope someday you’ll join us
And the world will be as one

උදය ආර්. තෙන්නකෝන්


[i] පෙරටුගාමී සමාජවාදී පක්ෂය සම්බන්ධයෙන් කුමාර ගුණරත්නම්ව සඳහන් කිරීම ද රූපකීය ලෙස වැදගත්වන හේතු අතරට ඔහුගේ නායකත්වය හා එහි බලපෑම සුවිශේෂීය. එනම් ඔහු පිටුවහලේ සිට ලාංකීය දේශපාලනය වෙනුවෙන් ක්‍රියාත්මක වීම යන කාරණයේ දීය. එහිම අනෙක් වැදගත්කම වන්නේ විදේශයක සිට ජාත්‍යන්තරය දෙසටත්, ලාංකීය ඩයස්පෝරාව දෙසටත් හැරීමට ඇති හැකියාවේ පුමාණය වැඩිකම නිසාය. එය විය යුත්තේ හා කළ යුත්තේ කෙසේද යන්නත් දේශපාලනික දෘෂ්ටීන් හඳුනා ගන්නේ කෙසේද යන්නත් වැදගත් තීන්දු තීරක කාරණාය.

Advertisements

One response

  1. ඔබ ගේ වියමන ඉතාමත් අගනේය. වාමාංෂය තුල ආචාරධාර්මික සබදතාවයක් වහා ගොඩනැගිය යුතුව ඇත පලමුව එලබිය යුතුව ඇත්තේ මතවාදී එකමතිකයක් කරා නොව ආචාරධාර්මිකත්වයක් කරාය. අන්‍යයෝන්න්‍ය වෙනස දරාගැනීමක් තුලවන හදුනාගැනීමක් කරාය; එතුලින් වන පරිපූර්ණත්වයක් කරාය. අප ඒ වෙනුවෙන් වග විය යුතුව ඇත. වෙහෙස විය යුතුව ඇත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: